මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට නොකඩවා ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් අනුරාධපුර නගරයට සහ පූජා නගරයට ඇති වන ගංවතුර තත්ත්වය මග හැරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණද මල්වතු ඔය, යාන් ඔය සහ කලා ඔය දෙපස සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස, අනුරාධපුර දිස්ත්‍රික් වාරි මාර්ග අධ්යක්ෂ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
අද (11දා) උදෑසන වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 14ම වාන් දමමින් පැවති බවද අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්යක්ෂ කාර්යාලය සඳහන් කළේය.
නාච්චාදූව ජලාශයෙන් තප්පරයට ඝණ අඩි 1200 පමණ ප්‍රමාණයක් නුවර වැවට ජලය මුදා හරින බවත්, එය නාච්චාදූව ජලාශයෙන් කෙලින්ම මල්වතු ඔයට, මුදා හැරීම වෙනුවට නාච්චාදූව ජලාශය මගින් නුවර වැවට නිකුත්කර අනුරාධපුර නගරයට පහලින් මල්වතු ඔය හරහා එම ජලය මුදා හරිමින් අනුරාධපුර පූජා නගරයට ඇති වන අවදානම් තත්ත්වය මග හැරීමට කටයුතු කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග අධ්‍යක්ෂක කාර්යාලය වැඩි දුරටත් පවසයි.
එම කාර්යාලය නිකුත් කල දත්ත වලට අනුව, රාජාංගනය ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කර තත්පරයට ගණ අඩි 22000ක්, කලා ඔයට මුදා හැරෙනවා, අංගමුව ජලාශයේ වාන් දොරටු 2 ම විවෘත කර තත්පරයට ගණ අඩි 1700ක් කලා ඔයට මුදා හැරෙනවා, හුරුලු වැව ජලාශයේ තප්පරයට ගණ අඩි 2790ක් මුදා හැරෙනවා, මහ කනදරාව ජලාශයේ දොරටු 2 ම විවෘත කර තත්පරයට ගණ අඩි 2000ක් කනදරා ඔයට මුදා හැරෙනවා.
මහ විලච්චිය ජලාශයේ ජලය අඟල් 8ක ප්‍රමාණයක් වාන් දමමින් තත්පරයට ගණ අඩි 1125ක් මුදා හැරෙනවා. නාච්චාදූව ජලාශයේ වාන් දොරටු 6 ම විවෘත කර, තප්පරයට ගණ අඩි 2260ක ප්‍රමාණයක් මල්වතු ඔයට මුදා හැරෙනවා. අනුරාධපුර නුවර වැවේ වාන් දොරටු 4ම විවෘත කර තප්පරයට ගණ අඩි 972ක ප්‍රමාණයක් මල්අතු ඔයට මුදා හැරෙනවා. පදවිය ජලාශයේ ගේට්ටු 2ම විවෘත කර තත්පරයට ගණ අඩි 909ක ප්‍රමාණයක් මුදා හැරෙනවා. යාන් ඔය ජලාශයේ වාන්දොරටු 5ම විවෘත කර තත්පරයට ගන අඩි 5336ක ප්‍රමාණයක් යාන් ඔයට මුදා හැරෙනවා.
පවතින වැසි තත්ත්වය දිගටම පැවතිය හොත් මෙම ජලාශ වල භාණ් ජලය වැඩි වී අවදානමක් ඇතිවිය හැකි බවත් මෙමගින් මිනිස් ජීවිත අහිමි වීමට ඉඩක් ඇති බැවින් ඒ අවට ජනතාවට පරිස්සමින් කටයුතු කරන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්යක්ෂ පැවසීය.
එම ජලාශවල සහ මධ්‍ය පරිමාණ සහ කුඩා වැව්වල ශක්තිමත් භාවය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගි ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්යක්ෂවරයා කියා සිටියේ කදුරුගස් දමන වැව සහ හුරුලු වැව කොට්ඨාසයේ කන්හිදවැව යම් අවදානම් තත්ත්වයක පවතින නිසා එහි වාන් මට්ටමට වඩා අඩි දෙකක් ජලය පහලින් රඳවා ගැනීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම යම් හදිසි ආපදාවක් ඇති වුවහොත් ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර වැලිකොට්ට සූදානම් කර ඇති බවද පැවසීය.
